එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණයට පෙර තිබූ අර්බුදය මේ වන විට තියුණු සහ සූක්ෂ්ම ස්වභාවයකට පත්වෙලා තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය ඉතාම අසීරු කාලසීමාවක් මේ ගතකරමින් සිටින්නේ. පක්ෂයක් විදිහට අපට ජනාධිපතිවරණය සඳහා හොඳ පෙර සූදානමක් තිබුණේ නෑ. සජිත් ප්‍රේමදාස මහතා වුණත් වැඩි කාලයක් සහ උත්සාහයක් ගත්තේ අපේක්ෂකයා බවට පත්වෙන්න. ඒ අර්බුදය තමයි ජනාධිපතිවරණ පරාජයට ප්‍රබල හේතුවක් වුණේ.
අපි රජයක් විදිහට ස්වාධීන කොමිසම්, සෞඛ්‍ය ප්‍රතිපත්ති, විදුලි ප්‍රතිපත්ති ඇතුළු විශාල වැඩපිළිවෙලක් සමග මෑත ඉතිහාසයේ, 1994න් පසු පත්වෙච්ච හොඳම ආණ්ඩුව. නමුත් ඒක ජනතාව තුළට ගෙනියන්න බැරි වුණු ප්‍රධානම කාරණය යූඑන්පීය මාකටින් දන්නෙ නෑ. කොකාකෝලා බෝතලේ ලේබල් එක බලන්නෙ නැතුව බෝතලේ හැඩෙන් කොකාකෝල කියල කියනවා. ඒ වගේ තමයි එක්සත් ජාතික පක්ෂයත්. අලිය දැක්කහම මේ යූඇන්පීය කියල දන්නවා. මේ රටේ බ්‍රෑන්ඩඞ්ම දේශපාලන පක්ෂය යූඇන්පීය. මේ රටේ තනි ප්‍රබලම දේශපාලන පක්ෂය යූඇන්පීය. මේ රටේ දේශපාලන පක්ෂ දෙකයි තියෙන්නෙ. එකක් එක්සත් ජාතික පක්ෂය. අනික, එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ කණ්ඩායම. ඉතිහාසයේ එය ජේවීපී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණ ආදී විවිධ නම්වලින් එජාප විරෝධී කඳවුර ආවා.
අවාසනාවකට එජාපයේ නායකවරු ජේ.ආර්. ජයවර්ධන ආසන අටට වැටිච්ච එක්සත් ජාතික පක්ෂය හැත්තෑ හතේදි හයෙන් පහක බලයක් අරගත්ත කතාව කියවල නෑ, එක්කො කතාව දන්නෙ නෑ.
2015 වෙද්දි රාජපක්ෂලා හොරු කියල මොන්ටිසෝරි ළමයෙකුත් දන්නවා. අපි විපක්ෂයේ කාර්යභාරය එතනට අරගෙන ගියා. මියගිය අප්පච්චි පිබිදුණේ එක්සත් ජාතික පක්ෂය නිසා. පොහොට්ටුවෙ ආකර්ෂණයක් නොතිබ්බට අපේ විකර්ෂණයක් තිබුණා.
ලෝකයේ ඕනෑම දේශපාලන පක්ෂයක මැතිවරණයකින් පස්සෙ පක්ෂ අභ්‍යන්තරයේ අර්බුද නිර්මාණය වෙනවා. බැරිවෙලාවත් ගෝඨාභය රාජපක්ෂ මේ ජනාධිපතිවරණය පරාජය වුණා නම් සසර වසන තුරු මහින්ද රාජපක්ෂ රෝද පුටුවෙ ඉඳගෙනත් ඒ පක්ෂයේ නායකය වෙලා ඉඳී. ජනවාරි පහළොව වෙනකොට පක්ෂය තමන්ගෙ තීරණය අපට කියන්න ඕනෙ. කණ්ඩායම් වලට බෙදිල ඡන්දෙ කරන්න අපි සූදානම් නෑ. කල්මරල විසඳන්න පුළුවන් ප්‍රශ්න තියනවා නමුත්, කල්මැරීම හැම ප්‍රශ්නෙකටම උත්තරයක් නෙවෙයි.
ඇමතිවරු බෙදුණා. ඇමතිවරු සංවිධායකවරු දිහා බැලුවෙ නෑ. සංවිධායකවරු ඉන්නව කියල තේරෙන්නෙ ඡන්දෙට ඉස්සල්ල ටාගට් දෙනකොට. කැස්බෑව මම හැට දාහට අරගෙන ගියා. හැබැයි ඒ හැට දාහ රඳවගන්න මට එක ඇමතියෙක් උදව් කළේ නැහැ. ඡන්දෙ ළං උනහම අහනව හැට තියාගන්නෙ කොහොමද කියල. ඒවට උත්තර දුන්නොත් පක්ෂෙන් එළියට එන්න වෙනවා. අර්ජුන රණතුංග හම්බෙන්න මම දාසය පාරක් ගිහිල්ලත් හම්බෙන්න බැරි වුණා. දැන් යූඇන්පිය ටයි, රටටයි සංඝායනාවක් ඕනෙ.
එජාපයට නැවත සංවිධානය වීම සුළු කාරණයක්. එයට අවශ්‍ය පදනම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අපට හදල දීල තියනවා. මිනිස්සු හිතාන හිටියෙ ගෝඨාභය වචන කියල. නමුත් ගෝඨාභය දැන් වචන රචන කරනවා. එම්සීසී ගිවිසුම ගැන මැතිවරණ වේදිකාවෙ කියපුව නෙවේ දැන් කියන්නෙ. දැන් කියනව ඒක අධ්‍යයනය කරන්න ඕනෙ කියලා. රාජපක්ෂල දැන් කතරගම දේවාලෙ ගින්දර උඩ දුවනව වගේ වැඩක් කරන්නෙ, උඩ අළු තිබුණත් යට ගින්දර තියනවා. යූඇන්පියේ ඇමතිවරයෙක් හෝ මන්ත්‍රීවරයෙන් හොරකමක් කළොත් ඒකට යූඇන්පීකාරය කියනව වැඬේ කැතයි, ඒක හොර වැඩක්, ඒක පක්ෂෙට හොඳ නෑ, අපේ ගෞරවයට අභිමානයට කැළලක් කියලා. හැබැයි රාජපක්ෂලා පරම්පරා ගාණක් හොරකම් කළත් පොහොට්ටුවේ එක්කෙනෙක්වත් කියන්නෙ නෑ රාජපක්ෂලා හොරු කියලා. මිග් යානා ගනුදෙනුව ගැන එක පොහොට්ටුවෙ කෙනෙක් කතා කරනවද? ගෝඨාභය රාජපක්ෂ වැරදියි කියනවද? හැබැයි යූඇන්පීකාරය බොන්ඞ් ඩීල් එක ගැන කියන්නෙ ඒක වැරදියි, පරීක්ෂණ පවත්තල වැරදිකාරයන්ට දඬුවම් දෙන්න කියලයි.
හැබැයි අද බොන්ඞ් ජේම්ස් බොන්ඞ් වෙලා. බොන්ඞ් හොරාගෙ ප්‍රෙස් එකේ තමයි ගෝඨාභයගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැහැව්වෙ. බොන්ඞ් හොරා කෝටි ප්‍රකෝටි ගණනින් ඒ කැම්පේන් එකට සල්ලි දීලා.
එක්සත් ජාතික පක්ෂ දේශපාලනයේ ඩඞ්ලි සේනානායක මහත්තයා ඉතාම ජනප්‍රියයි. ජේ.ආර්. ජයවර්ධන මහත්තය වැඞ්ඩා. හැබැයි ජේ.ආර්. ජයවර්ධන මහත්තය නායකකම ඉල්ලුවෙ නෑ. ඩඞ්ලිව ගෙනල්ල තිබ්බා. අපි අඳුරගන්න ඕනෙ ජනප්‍රියම ක්‍රීඩකයයි හොඳම ක්‍රීඩකයයි දෙන්නෙක් කියලා. රට ඉල්ලන්නෙ ජනප්‍රිය ක්‍රීඩකයා.
ලංකාවෙ ඉන්න හොඳ බැට්ස්මන් කුසල් මෙන්ඩිස්. හැබැයි ඔහු දිගටම ෆේල්. අපි ඩ්‍රොප් කරනවද හොඳම ප්ලෙයර් කියල දිගටම ගස්සනවද? ඒක කෘත්‍යාධිකාරී මණ්ඩලය ගන්න ඕනෙ තීරණයක්.
බුදුහාමුදුරුවන් ගංජා ගැහුව කීව මාධ්‍ය ආයතන ප්‍රධානියාට විරුද්ධව කොයි හාමුදුරුවන් ද කතා කෙරුවේ. ඒ කතා අඬන්න බලන් හිටපු මිනිහට ඇහැට ඇඟිල්ලෙන් අනින කතා. අපට දැනගන්න ලැබුණා ජනාධිපතිවරණයට ආගමික ඔපරේෂන් එකක් ගියා කියල. ඒ ඔපරේෂන් එක ගියෙ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සසුනට පූජා කරපු පන්සල ඇතුළෙ.
රාජපක්ෂල කොළඹ වැඩියෙන්ම පන්සල් තියන ආසනේ කැස්බෑවෙ රුපියල් සීයක් දීපු පන්සලක් කියන්න. මහින්ද රාජපක්ෂ මහත්තයගෙ සුවච කීකරු ස්වාමීන්වහන්සේ, මැදගොඩ අභයතිස්ස හිමියන් මුල් ගලක් තිබ්බ පැළ වුණා. පැපිලියානෙ රජමහා විහාරයට අවුරුදු හයසීයයි. අපේ ආණ්ඩුවෙන් ලක්ෂ හාරසිය අසූවක් දුන්නා. මේ ආසනේ හැම පන්සලකටම ලක්ෂ දහය බැගින් දීල ලක්ෂ එක්දහස් හයසීයක් අපේ ආණ්ඩුවෙන් සසුනට පරිත්‍යාග කළා. බුද්ධ සාසන අමාත්‍ය දැම්මෙ අපි. පාලි විශ්වවිද්‍යාල දැම්මෙ අපි. සංස්කෘතික ත්‍රිකෝණය අපි. සංස්කෘතික අරමුදල අපි. රාජපක්ෂල බුද්ධාගමට මොනවද කළේ. හැබැයි දැන් අපි තලේබාන්, රාජපක්ෂලා බෞද්ධ.
කොහොම කළත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපි සිංහල බෞද්ධයො. පන්සලේ දායක සභාවෙන් සීයට අසූවක් යූඇන්පීකාරයො. යූඇන්පීකාරයො තමයි වැඩියෙන්ම දන් දෙන්නෙ. හැබැයි අපි දන්නව දන් දීල නිවන් දකින්න බෑ කියලා.
සමහර සිංහල බෞද්ධයො පොහොට්ටුවට ඡන්දෙ දාන්න එන්නෙ අම්මව මහලු මඩමට දාලා. සහෝදර සහෝදරියන්ගෙ දේපළ ටික බලෙන් ලියාගෙන. බහුතරය පන්සිල් පද පහම කඩනවා. හොඳම උදාහරණය හත්වෙනි ශ්‍රේණියෙ පොතේ ප්‍රශ්නය. මේ පොත හැදුවෙ පාර්ලිමේන්තුවෙ කාරක සභා කිහිපයක සාකච්ඡා වට කිහිපයකින් පස්සෙ සමාජ විද්‍යා, සෞඛ්‍ය, අධ්‍යාපන යන ක්ෂේත්‍රවල විද්වතුන්ගෙන් සමන්විත කමිටුවකින්. ලිංගික ජීවිතය කියන්නෙත් ජීවිතයෙන් කොටසක්. හැබැයි මේකට බය මිනිහ, මේක නොදන්න මිනිහ, මේක එක්ස්පෙරිමන්ට් කරන්න හදනවා. ඒක නිසා තමයි මෙහෙම බණ අහන රටක් මෙහෙම බ්ලූ බලන රටක් වෙලා තියෙන්නෙ.
බුදුන් දවසත් දේශපාලනය තිබ්බා. ඒ කාලෙ හික්ෂුව කළේ ධර්මයෙන් අනුසාසනා කරපු එක. පාලනය කළේ නැහැ. මේ අපි හදා ගත්ත ලෙඩක්. පහුගිය කාලෙ පන්සල්වල අත ගැස්සුවෙ කඨින චීවරය නෙවේ රාජපක්ෂ සාටකය. කඨින බණට කීවෙ රාජපක්ෂ ජාතකය. පනස් හයෙත් මේකම කළා. ඒ ප්‍රතිඵල පනස් නවයෙ බුක්ති වින්දා. ලංකාවෙ ජාතික භාෂාවන් දෙකක් තියනවා. ඒ දෙකෙන්ම ජාතික ගීය ගායනා කරන්න ඕනෙ කියල වාසු කීවා. හැබැයි වාසුට විරුද්ධව පන්සල ක්‍රියාත්මක වෙන්නෙ නෑ. හැබැයි ඕක මම කීවොත්? මේ තියෙන්නෙ ආරෝපිත යූඇන්පී විරෝධයක්.
අපි නීතිය ක්‍රියාත්මක කරන්න කියල බලන් හිටියා. ඒ ගොල්ලො නීතියට එකතු කළා බලය. මේ කියන විදිහට ලංකාවෙ ප්‍රාදේශීය ලේකම් කෙනෙක්ගෙ වාහනයක් පිටිපස්සෙන් ඇවිල්ල හැප්පුවොත් ප්‍රාදේශීය ලේකම් හිරේ යන්න ඕනෙ. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යන වාහනේ ඩෝප් එකෙක් ඇවිල්ල පිටිපස්සෙන් ඇන්නොත් කමල් ගුණරත්න හිරේ. රාජ්‍ය දේපළට හානිකිරීම. නීතිපති එහෙම උපදෙස් දුන්නෙ.
දැන් දැන් මේක වියත් මගට තේරෙනව අපි ගියේ වියපත් මඟක කියල. හැබැයි ගමේ දයාවතීලට දැන්ම තේරෙන්නෙ නෑ. තව ටික දවසකින් වියත් මගේ කට්ටිය ගෝඨාභයට කියයි ඔබයි මගේ වියපත් බඹරා කියල.
කිසිසේත්ම එවැන්නක් වෙන්නෙ නැහැ. ඔහු අපේ ඉතා හොඳ කල්‍යාණ මිත්‍රයෙක්. හොඳ සංවිධායකවරයෙක්. ඉතාම හොඳ ප්‍රතිපත්තියක්, දැක්මක් තියන දේශපාලන නායකයෙක්. හැබැයි ඔහු මුලින්ම එජාපයට බැඳෙන්න ඕනෙ. ඔහු පහුගිය කාලෙ යූඇන්පීකාරයත් එක්ක හිටියෙ නෑ. ඔහු හිටියෙ හෙළ උරුමයත් එක්ක. මේක දෙන්න නම්, යූඇන්පී කියන මහා වෘක්ෂයේ හැදෙන්න ඕනෙ, ඵල දරන්න ඕනෙ, ඵල නෙලන්න ඕනෙ, මේ ගහේ හැම අත්තකම ඉන්න යූඇන්පීකාරයන්ටම ආදරෙන් ඉන්න ඕනෙ.
Lanka Newsweek © 2026